මහ පොලවෙ පුංචි ඉඩක ලූ ඉටි රෙද්දක් මත සුවඳැල් කෙසෙල් ඇවරි කිහිපයක්, කොළ මිටි දෙක තුනක්, හබරල හිඟුරල ඉන්නල වෙරලු ලොවි අච්චාරු සීරුවට අඩුක් කොට ඇත,
"අම්මේ මේ කෙසෙල් කීයද?"
" අනේ මහත්තයෝ බර හරිද බලන්න"
"මහත්තයම ගාන හදල කියන්න,"
" මදි නම් මේ කෙසෙල් ගෙඩි දෙකත් දාගන්න සල්ලි එපා මේකට . . . "
අව්යාජ වියළි හිනාවක් යාන්තමින් හෙළන ඈ ඔත්පල සුදු කොණ්ඩය, කලු ගැහුණු අතඟිල්ලෙන් සෙමෙන් සකසයි...
ඈ කෑගසන්නේ නැත..
අපේ හිත් ඇතුලෙන් කෑ ගැස්සේ . . .
එක අම්ම කෙනෙක් ඉන්නවා පහන්තිර පැකට්ටු වැල් අතින් ගෙන ඇවිදින, " පුතේ " කියන ගමන් ඈ ඒ වැලක් මවෙත දිගුකරන,
"අනේ අම්මේ ගිය ඉරිද ගත්තු තිර ඉවර නැහැ තාම,"
මම එහෙම කියද්දිත් මඳ හිනාවෙන් අසා සිටින, ඒ බැල්මට නතුව තව පහන්තිර වැලක් මිලට ගත්තත් ඒ හිනාව එහෙම්මම පාන, "මෙච්චර පහන්තිර කන්නද" අසන බිරින්දෑ කෙනෙක් ගෙදර ඇතිබව නොදන්න . . . එක අම්ම කෙනෙක් ඉන්නව පහන්තිර පැකට්ටු වැල් අතින් ගෙන ඇවිදින ...!
ඉරිදා පොලේ මෙවැනි මවුවරු - පියවරු රැසකි !
ඔවුහු අපේ ගමේ කොහේ හෝ කොනක ජීවත් වන දරුවෙකුට රස මසවුලු තම්බා දෙන්නෝය,
"ආදරෙන් හිස් පහත්කොට ඔවුන්ගෙන් වැඩි යමක් වැඩි මිළක් දී ගන්න ...
එය සුපුරි වෙළඳපොළකින් ඔබට මිළට ගනු බැරි ඉස්තරම්ම වර්ගයේ 'සතුටක්' වනු ඇත...!"