‘සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තය (Democratic Socialist Republic of Bikini Paradise)’ ලෙස නම් කරන ලද රටක, විෂ්ණු වාසු නම් කර්තෘ කෙනෙකු විසින් කරන්නට යෙදුන නවතම කෘතියෙහි නම ‘ඕනෑ කර තිබේ’. එකී කෘතියෙහිම පවසා තිබෙන නිසා ම ‘මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් ගෙන ඔබත් පානය කරන්නැ’යි නොකියමි, එය ඔබ කියවිය යුතුම නිසා එලෙස උදෘත කළෙමි.
[කෘතිය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට ලිපියේ අග ඇති FreePDF හෑෂ්ටැගය ක්ලික් කරන්න! ]
හුදෙක් වචන පිළිබඳ අවධානය අඩුවීම, අවිධිමත් දඩබ්බර ලේඛන වහර නිසා අතිශය අවුල් ජාලයක් වී නමුදු එක හුස්මට, නැහැ, හුස්ම කිහිපයක් එකම වාක්‍යයකට- වචනයකට වුව වැය කරමින් කියවන්නට ඔබට සිදුවනු ඇත. එය කුමක් නිසා සිදු වූවක්ද, දේශපාලනික සංස්කෘතික මිනිසෙකු නිසා සිදුවූවක්ද නැද්දැයි නොදනිමි. නමුත් සහසුද්දෙන්ම මේ ඔබෙ හදවතේම දෙබඩිතාවයම එකට සම්මුඛ වීමක් වැන්න.
• කවුද මේ විෂ්ණු වාසු?
‘මිනිහා ටී වී බලන්නෑ, රේඩියෝ අහන්නෑ, පත්තර කියවන්නෑ. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වල නැහැ. හිතුණු වෙලාවක විතරක් ෆේස් බුක් එකට ඇවිත් මොනවා හරි අබ්‍රකදබ්‍රයක් ලියලා අපේ මොළ අවුල් කරලා අතුරුදන් වෙනවා. පොලිටික්ස් පයිසෙකට මායිම් කරන්නේ නැහැ. ජීවිතේට ඡන්දයක් දාලා නෑ. අමරදේවගේ, නන්දා මාලිනීගේ වුනත් සිංහල සින්දු නං අහන්නෑ. හැබැයි මියුසික් ෆෙස්ටිවල් බලන්න ලෝකේ වටේ රස්තියාදුවේ යනවා. ලංකාවේ චිත්‍රපට බලන්නෑ නෙට්ෆ්ලික්ස් බලනවා. ජොලි කුකුළා වගේ රිලැක්ස් එකේ ඉන්න, ආදර්ශයට ගන්ඩ වටින පට්ට ඩයල් එක. ඉතින් ඉරිසියා හිතෙන එක සාධාරණ නැද්ද. අපි මිනිහට නම දාලා තියෙන්නේ ධනවාදී බොහීමියානුවා කියලා. සිංහලෙන් පොත් ලියලා ඉංග්‍රීසියෙන් ජීවත් වෙනවා. මං කැට තියලා එකක් කියන්නං. බිකිනිලන්තයට හෙණ ගැහුවත් පොර නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ...’
• එතකොට ඔහු කියන්නේ මොනවද?
‘එයා කියන්නේ ඩී.එස්. සේනානායකගේ ඉඳලා අනුර අයියා දක්වා පාර්ලිමේන්තු ගිය හැමෝම, බිකිනි ඇඳගෙන රැල්ල පාගන්ඩ ගල්කිස්සේ බීච් එකට එන සුද්දියෝ වගේලු. බලය ගන්ඩ ගල් පැලෙන බොරු කිය කියා අහිංසක මිනිස්සු රවට්ටනවලු. ආවාට පස්සේ නෑ අපි කොහේවත් එහෙම කිව්වේ නැහැ කියලා බිකිනියත් උනාදාලා රෙදි නැතුව ගේම ඉල්ලනවලු. චන්ද්‍රිකා මැඩම්, මහින්ද ලොක්කා, සිරිසේන, ගෝඨා, රනිල්, අනුර අයියා විතරක් නෙවෙයි... පක්ෂ පාටවලට බෙදිලා කතිර ගහන ජනතාවත් එහෙමලු. මුහුද ගොඩ ගැලුවත් කිසිසිසිසිම දෙයක් වුනේ නෑ වගේ චිල් එකේ ඉන්නවලු’
ඉදින් මේ අකුරු ඉන්ද්‍රජාලිකයා ලියන කියන දේත් එසේමවීම අරුමයක් නැත;
උදාහරණයක් ලෙස ‘දිව්‍ය සත් ප්‍රසාදය’ විශ්වාස කරන්නට අපට පළමුව ඇරියුම් කරන ලේඛකයා අනෙක් පසින් එහෙව් සත්ප්‍රසාද දෙනු ලබන ‘දෙවියන් කියන්නේ ඔහෙලගේ හිතේ ගොජදාන තිගැස්මයි, අසරණකමයි වහගන්න දාගත්තු වෙස් මුහුණක් විතරක්’ බව අපට අවධාරණය කරයි.
ඔහු විටෙක විවිධ පූජනීය ස්ථානයන්හි ආගමික චාරිත්‍ර ඉටු කරන්නෙකි. විටෙක ඒ අම්මාගේ කීමටය. නැත්නම් තමන්ට ප්රතිමුඛවන ඡන්දදායකයාට තේරෙන භාෂාව ආගමිකකරණය වී තිබීම නිසා ඔහු එසේ කළාද?
විරුද්ධවාදීන්ට ශාප කිරීම හෝ ඉන්දියානු ව්‍යාප්තවාදයට විරෝධය දැක්වීම වැනි දේශපාලන හා සමාජීය හේතූන් මත මෝදර කාලි කෝවිලේ සහ සීනිගම දේවාලයේ පොල් ගැසීමේ චාරිත්‍ර හෝ අභිචාර වතාවත් සඳහා සහභාගී වීම ඔහු විස්තර කරන්නේ මෙලෙසය.
‘ප්‍රදීප් එක්නැලිගොඩව උස්සපු එවුන්ට කෙළ වෙන්ඩ කියලා සන්ධ්‍යා අක්කත් එක්ක ගිහින් මෝදර කාලි කෝවිලේ ගැහුවා. රනිල්ව පන්නලා මහින්ද අගමැති වෙන්න හදපු වෙලාවේ කිරුළපනේ මයුර කෝවිලේ ගැහුවා. එදා නං සජිත් එහෙමත් ඇවිත් හිටියා. ඊළඟට ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සීනිගම දේවාලෙදි. එදා පොලුත් ගහලා ගම්මිරිසුත් ඇඹරුවා නරේන්ද්‍ර මෝදි නැති භංගස්ථාන වෙලාම යන්ඩ කියලා. අන්තිමට ගැහුවේ, බිලි පූජාවට එළුවන්ගේ බෙල්ල කපනවට විරුද්ධව, මර්වින් සිල්වගේ සෙට් එකත් එක්ක ගිහින් හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ. එදා නං අපි පොලුත් ගහලා ගේමකුත් ඉල්ලුවා.’
තවත් තැනෙකදී ‘යාළුවෙක්ව ඩිනර් වලට අරං යන්න හොඳ ජැපනීස් රෙස්ටොරන්ට් එකක් තියෙන තැනක් හොයා ගන්ඩ වාගේ සිම්පල් වැඩක්’ කර ගැනීමට ඔහුගේ යෝජනාව වනාහී ‘ඇස් දෙක වහගෙන පොඩි යාඥාවක්’ කිරීමය. ‘එතකොට ඔන්න දෙවියෝ අපිට මතක් කරලා දෙනවා අරහෙට මෙහෙට කෝල් දදා චාටර් වෙන්නේ නැතිව ගූගල් සර්ච් කරන්ඩ කියලා. ඉන්ස්ටන්ට් හෙල්ප්.’
ඔහු දිගින් දිගටම දෙවිවරු පිළිබඳ මුග්ධ භක්තිමත්භාවය උපහාසයට ලක්කරයි; ‘දෙවිවරු කියන්නේ මස්, මාළු, බිත්තර, උම්බලකඩ තියා කේක් කෑල්ලකවත් රහ බලන්නැති, හෝදලා බොන්ඩ පුළුවන් සුපිරිසිඳු චරිත’! ඔහුට මෙහිදී අවශ්‍ය වන්නේ ඉන්ද්‍ර සහ ශිව වැනි දෙවිවරුන්ට මස් පූජා කළ පුරාණ වෛදික ග්රන්ථ උපුටා දක්වමින් බෞද්ධ පොත්පත් උපයෝගී කරගනිමින් දෙවියන් පිළිබඳ උත්කර්ෂයට නැංවෙන ගතානුගතික පිරිසිදු නිර්මාංශිකත්වය සමච්චලයට ලක් කිරීමය.
උත්ප්රාසීය දෙබිඩි මානව වංශකථාව ඔහු කේන්ද්‍රගත කරන තවත් තැනෙකි මේ; එනම්;
‘එළුවෝ බිලි දෙනවාට විරුද්ධ’ වුවද ‘නෝර්ත් ඉන්දියන් රෙසිපියකට හදන මට්න් රෝගන් ජෝෂ් (Mutton Rogan Josh) කරියේ සුවඳ හමනකොට, තොල් දෙක නලියන්ඩ ගන්න’ සිදුවන හේතුව ඔහු මෙසේ වමාරයි; අකුරු කරයි;
‘එළු මස් කෑල්ලක රහ බලන එකයි, එක පාර එළුවෝ සීයකගේ විතර බෙල්ල කපලා මරලා දාන එකයි දෙක දෙකක්නේ. එක එකාට ඕනේ විදිහට මේකේ සත්ව ඝාතනයට ඉඩ දෙන්ඩ බැහැ. මේක බුදුන් උපන් රට. බුද්ධ රාජ්‍යය.’
ඉදින්,
‘නාසයෙන් හොටු පෙරාගෙන කතා කියවීමෙන් වෙහෙසට පත්’ සහෘදයිනි;
මේ, ‘ආගමික නොවන ධනවාදී බොහීමියානුවා’ පවසන්නේ ස්වකීය හාස්‍යය සහ සමාජ විවේචනය උදෙසා විධිමත් ව්‍යාකරණය හිතාමතාම නොසලකා හරින ‘ඕනෑකර තිබේ’ ගද්‍යයේ PDF පිටපත් තමන් නොමිලේ ම ඔබ වෙත බෙදා හරින බවය. ඒ අනුව: ‘පූජා වට්ටිය උඩ තියලා සන්තෝසමක් විදියට දුන්නොත් විතරයි ගන්නේ’ ක්‍රමයෙන් බැහැරව මෙම කෘතිය ඔබටත් ගෙන පරිශීලනය කළ හැකිය.
ලේඛකයාට අනුව, ‘දේවාල කපුවෝ... මෙකී නොකී සියළුම දෙනා, දෙවියන් විකුණාගෙන කන අතරමැදි වෙළෙන්දෝ කොට්ටාසයක් මිසක් දෙවියන් එක්ක ගනුදෙනුවකට සුදුසු පිරිසක් නෙවෙයි’ එනයින් එ සන්තෑසියම ඔහුට පුද්ගලිකව මුහුණ පාන්නට සිදුවීම ඔහු විග්රහ කරන්නේ පොතක් ප්‍රින්ට් කරන්නට යාමේදී, පොත් ප්‍රකාශයකුගෙන් සිය බුද්ධිමය ශ්‍රමය උදෙසා 10%ක් වගෙ අවම සුගතියක් අත්වෙන බව පවසමිනි.
මෙබැවින් ඔහු තම කෘතිය නොමිලේ බෙදා හැරීමට යන්නේ ලොව අනෙකුත් දියුණු විසඳුම් තිබියදී ඒවා පිළිබඳ උදා කෙළ පිඬක් තරම්වත් නොසිතමින්.
එය ශ්‍රී ලාංකික මුද්‍රණය පිළිබඳ ආර්ථිකයේ සහ සංස්කෘතියේත් ලේඛක-පාඨකයින්ගේ ළබැඳියාවේත් සහ දේශපාලනයේත් හරස්කඩක් ලෙස හෝ තුච්ඡ ඛේදවාචකයක් ලෙස අපට කියවා ගත හැක.
පොතට අනුව එය ‘සල්ලි කොල දිලිසෙන තරමට තමයි ඒගොල්ලංගෙත් කන්නලව්වේ දිග පළල තීරණය වෙන්නේ’ ‘දේශපාලඥයෝ, චන්ඩියෝ, මිනී කාක්කෝ, මුදලාලිලා, පොලිස් ලොක්කෝ වාගේ මෙකී නොකී සේරම එක වල්ලේ පොල්’ය.
එබැවින් එය සල්ලි කොළ දිලිසෙන ප්‍රමාණයට කන්නලව් කරන කපුවන්ගේ ලෝකේ, පොත් ප්‍රකාශන කලාවේ ඛේදවාචකයට එරෙහිව කරනු ලබන අමුතුම විප්ලවයක්ය.
සිංහලෙන් පොත් ලියලා ඉංග්‍රීසියෙන් ජීවත් වෙන, මට්න් කරියට තොල් නලියන ගමන් සත්ව බිලි පූජාවට විරුද්ධ වෙන, සීනිගම දේවාලේ පොල් ගහන ගමන් දෙවියන්ව ප්‍රශ්න කරන විෂ්ණු වාසුගේ 'ඕනෑකර තිබේ' වනාහී අපේ හදවත්වල තියෙන දෙබඩිතාවය මූණටම පෙන්වන කන්නාඩියක්. ඩී.එස්. ගේ ඉඳන් අනුර දක්වා දේශපාලකයන්ව ‘බිකිනි ඇඳගත් සුද්දියන්ට’ සමාන කරන, ව්‍යාකරණ නීති බිඳදාපු දඩබ්බර ලේඛනයක්.
‘වැල්වටාරම් නැතිව වුණත්’ විටෙක තුසිතය විශ්වාස කරන එහෙත් ඒවා ප්‍රශ්න කරන විෂ්ණු වාසුගේ ‘පුරාණ කතා’ දේව කථා රාජ කථා චෝර කථා ටික ඔහුගේ ‘කටහඬින්ම අහන් ඉන්න’ ඔහේලටත් ආසා හිතේවි. එහෙත් ඔය කතා අහන් ඉඳලා ඔහේලගේ ජීවිත වන්දනාගමන යන්න ‘හොඳටම පරක්කු වෙලා යාවි’.
මේ කෘතියට හේතු භුත වුණ විෂ්ණුගේ ‘බේබි මාමා’ට ස්තූතියි.
සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තයට ඔබ සාදරයෙන් පිළිගනිමු!
-Vidura Dias Abayagunawardana | 🧚🏼♂️
#TheCurrencyofBikiniIsland
#VishnuVasu
#Wanted
#ගොජදානතෙලිජ්ජ
#ඕනෑකරතිබේ
#බිකිනිලන්තය
#දිව්‍යසත්ප්‍රසාදය
