Skip to main content

භාෂාවෙන් ඔබ්බට…

සිංහල රටේ සිංහල ජීව දත්ත සටහනක්, සිංහල ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරුවන් පිළිගනීවිද?

කසුන් කල්හාර වර්ෂ 2000දී පැවැත්වූ පළමු සංගීත ප්‍රසංගයේ තේමාව වූයේ waves of introspection, කොළඹ ආනන්දයේ අප කළ 99 කලා උලළේ තේමාව වදනින් එහා…

වැඩි වැඩියෙන් ගෝලීයකරණය වූ ලෝකයක, බහු ගෝලීය භාෂා - ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ, ජපන්, චීන, ස්පාඤ්ඤ, අරාබි - ප්‍රගුණ කිරීමේ සාම්ප්‍රදායික ආශාව වනාහී බොහෝ විට අපගේ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය පූර්ව සාධක ලෙස ලාංකේය අපට මූලිකව හැඟේ. අවම වශයෙන්, දෙමළ, හින්දි හෝ උර්දු වැනි කලාපීය භාෂා එන්නේ ඊටත් පසුවය. නමුත් ඵලදායී, අගනා හෝ බලපෑම් සහිත වීමට නම් අපි මේ සියලු භාෂාවන්හි ප්‍රවීණත්වය සැබවින්ම ලැබිය යුතුද?

අද, වෘත්තීය මානව පරිවර්තකයින්ට අමතරව, පරිවර්තන පද්ධති, අතථ්‍ය මෙවලම්, AIමය බහුභාෂා වේදිකා (Platforms) ඔස්සේ ජාත්‍යන්තර සන්නිවේදනය, වෙන කවරදාටත් වඩා නිවැරදිව හා කාර්යක්ෂමව හැසිරවෙන පසුබිමක අපි ඒ ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය. පුද්ගලික නීතිමය ලියවිල්ලක සිට සාහිත්‍ය කෘති දක්වා වූ ගෝලීය වශයෙන් විසිරුණ ඕනෑම අවශ්‍යතාවක් උදෙසා තාක්‍ෂණය දැනටමත් මැදිහත්කරුවකු වී අවසන්. එබැවින්, භාෂා උගෙනීම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා, අපි අපෙන් ප්‍රශ්න කිහිපයක් අසාගත යුතුය;

අපි අපේම භාෂාවක් කොතරම් හොඳින් දන්නවාද?

ඒ භාෂාවෙන් අපි කියන්නේ- අපට හෙළිදරව් කිරීමට තිබෙන්නේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ඉගෙනීමේ අවශ්‍යතාවය බොහෝ විට ප්‍රායෝගික ආර්ථික විද්‍යාව - ජාත්‍යන්තර ව්‍යාපාර, උසස් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය - මගින් මෙහෙයවනු ලැබේ. නමුත් මෙම අවශ්‍යතාව විශ්වීය නොවේ; එය ආර්ථික ව්‍යාපාරික සම්බන්ධතා මත පදනම්ව වෙනස් වේ. අපගේ ප්‍රාග්ධන සපයන්නාට පහසුම සංනිවේදන මෙවලම විසින් අපගේ විඥානයේ සිතීමේ ප්‍රාගුණ්‍ය සකසා ඇත.

ශ්‍රී ලංකාව තිරසාර නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා ගන්නේ නම්, සිංහල ඓන්ද්‍රීයව ප්‍රබල ව්‍යාපාරික භාෂාවක් බවට පරිණාමය වනු ඇත. ජර්මනියේ ඉංජිනේරු ආධිපත්‍යය ඉහළ යාමේදී ජර්මානු භාෂාව හෝ ජපානයේ කාර්මික උත්පාදන අතරතුර ජපන් භාෂාව හෝ අත්‍යවශ්‍ය වූවාක් මෙන් සිංහල උදෙසා වැඩි බරක් ජාත්‍යන්තරයේ ලැබෙනු ඇත. එය එසේ නොවන කල්හී, ඔක්ස්වර්ඩ් ඩික්ෂනෙරියේ අපේ නාම පදයක් ඇතුළුවීම නිසා අපට දැනට උඩඟුවිය හැක.

දාර්ශනිකව කියන්න උත්සහ දරතොත්, හුදෙක්ම භාෂාව බාහිර සන්නිවේදනය සඳහා මෙවලමක් පමණක් නොවේ - එය අපගේ චින්තනයේ- චිත්ත අභ්‍යන්තරයේ නිර්මාණකරුවායි. කසුන් කල්හාරගේ පළමු සංගීත ප්‍රසංගයේ තේමාව වූයේ waves of introspection, කොළඹ ආනන්දයේ අප කළ කලා උලළේ තේමාව වදනින් එහා…, එය අපගේ සිතීම් සිතිවිලි ඔබ්බෙන් අපගේ ඇතුලාන්තයන් නිර්මාණ කරණය ඔස්සේ ඉහළට ගෙනැ ආ මූලික අවස්ථාවක්. එනම් අපි කොහොමද අපේ ඇතුලාන්තය නිවැරදිව භාෂාවකට පරිවර්ථනය කරන්නේ, සහ අප විසින් අප සිතන භාෂාව ඔස්සේ පරිවර්ථනය කරනු ලබන්නේ කුමක්ද?. භාෂාව ඥානවිද්‍යාත්මක ය; එය අපගේ යථාර්ථය, අපගේ සංස්කෘතිය, අපගේ ස්වයං හැඟීම හැඩගස්වන්නක්- එය අනෙක් අතට අපගේ යථාර්ථය, සංස්කෘතිය, අපගේ ස්වයං හැඟීම ඔස්සේ භාෂාවේ හැඩය තීරණය වේ.

ඛේදජනක දෙය නම් බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉංග්‍රීසි චතුර ලෙස කතා නොකිරීම හෝ කිරීම නොවේ ඒ තුළ ප්‍රායෝගිකව ගැබ් කරන ජාත්‍යන්තර- විශ්වීය හැඟීම කුමක්ද යන්න පිළිබඳ දැනුමකින් තොර වීම. බහුතර සිංහල හෝ ඉංගීසි කථාකරන කෙනෙක්ගේ එදිනෙදා කථා බහ කියැවීම් හෝ හැදෑරීම් මොනවද? සමහරුන්ට සිංහල පැහැදිලිව කතා කළ හැකි නමුත්, එහි අදහස් පැහැදිලිකමෙන් හෝ විශ්වාසයෙන් ප්‍රකාශ කිරීමට, විවාද කිරීමට, ප්‍රශ්න කිරීමට හෝ විස්තර කිරීමට නොහැකිය. මෙය හුදෙක් භාෂාමය පරතරයක් නොවේ - එය සංජානන හා සංස්කෘතික අර්බුදයකි.

ඓතිහාසික වශයෙන්, භාෂා බාධක නිසා සන්නිවේදනයේදී දෙපාර්ශවයටම එකිනෙකාගේ භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය විය. සුද්දා සිංහල බසත් කළුසුද්දා ඉංග්ලිසි බසත් උගෙන ගැනීම සිදුවිය. නමුත් දැන්, තාක්ෂණය එම පැරණි සීමාවන් වේගයෙන් විසුරුවා හරිමින් සිටී. ස්වාභාවික භාෂා සැකසීම (NLP), එකවර AI මත පදනම් වූ අර්ථ නිරූපණයන් සිදු කිරීම සහ ස්වයංක්‍රීය උපසිරැසිකරණය හෝ හඬ කැවීම්කරණය භූගෝලීය සීමා නොතකා ප්‍රජාතන්ත්‍රීය වී ඇත- ඔව් ඇතැම් අඩුපාඩු තවමත් පවතී. එහෙත් මෙම විප්ලවීය වෙනස නිසා ගෝලීය වශයෙන් තම මව් භාෂාවේ දැනුම නිර්මාණය කිරීමට සහ බෙදා ගැනීමට මිනිසුන්ට ඉඩ සලසයි.

උදාහරණයක් ලෙස, YouTube, TikTok, Spotify වැනි වේදිකා තුළ අන්තර්ගත නිර්මාණකරුවන් (Content Creators) දැන් සිංහල, ඉංගීසි දෙමළ හෝ උර්දු හෝ වෙනත් බසක් භාවිතා කරනු අපි දකිමු - ඒ අන්තර්ගතය ලොව පුරා පිරික්සිය හැකි ඇල්ගොරිතම මගින් පරිවර්තනය කර, සිරස්තල ගන්වා, හඬකවා සුචිගත කර ඇත. ඉදින් ඔබේ භාෂාව තවදුරටත් දෘශ්‍යතාව හෝ ශ්‍රව්‍යතාව සඳහා බාධකයක් නොවේ.

සැබෑ බාධකය කුමක්ද? ගැබ්වන සාරය, පැහැදිලිකම සහ අරමුණ.

සියවස් ගණනාවක් තිස්සේ, යටත් විජිත අධ්‍යාපන පද්ධති නිසාදෝ භාෂා ධූරාවලිය ශ්‍රේණිගත කර ඇත්තේ දේශීය භාෂා පහළින් සහ යුරෝපීය භාෂා ඉහළින්මය. ඒ බව ඉකුත්දාක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කෙරිණ. මෙම සම්ප්‍රදාය සේවා ස්ථාන, පාසල් සහ පොදු කතිකාව තුළ සියුම් ලෙස පවතී. ස්වදේශීය භාෂාවන්ට ගෞරවය සහ ක්‍රියාකාරිත්වය ප්‍රතිස්ථාපනය කිරීම වනාහී බුද්ධිමය යටත් විජිතකරණය සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණයේ ක්‍රියාවකි. සිංහල රටේ සිංහලෙන් ජීව දත්ත සටහනක් සිංහල ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරුවන් පිළිගනීවිද?

මිනිසුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් කතා කිරීමට, ලිවීමට සහ නිර්මාණය කිරීමට බලගැන්වීම වඩාත් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයට, දැනුමට ප්‍රවේශ වීමට සහ මානසික සෞඛ්‍ය සමානාත්මතාවයට මග පාදන බව විශ්වීයව අදහමින් සිටියදී ලංකාවේ රාජ්‍ය මට්ටමින්ම මව් භාෂාව පහළට ඇද දැමීමටත්, ස්වකීය සහෝදර ජාතියක මුහුණේ ඇතිල්ලීමටත් පමණක් භාවිත කිරීම කණගාටුදායකය. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට එරෙහි වූ ස්වදේශීය භාෂා මාමකයන් සිංහල බස කෙතරම් මැනවින් කථා කළද පළක් නැත.

ජාත්‍යන්තර සහ විශ්වීය වැනි වචන අපි දැන සිටින නමුත්, අපි මානසික වශයෙන් හුදකලාවේ දූපතක ජීවත් වන්නෙමු. අපි කොපමණ විදේශීය භාෂාවක් චතුරව කථා කළද, අපි දැනුමින් කුඩා වී සිටිමු.

"ජාත්‍යන්තර" වීම, “පෘථිවිවාසියකු වීම” යනු වෙනත් කෙනෙකුගේ භාෂාවක් කතා කිරීම නොවේ; අප කථා කරන්නේ කුමක් ද යන්නය.

The most potent weapon in the hands of the oppressor is the mind of the oppressed.

— Steve Biko

මිතුරනි, අපේ භාෂාවේ සීමාවෙන් අපේ ලෝකයේ සීමාව නීර්ණය නොකර අපි සිරව සිටින ලබු ගෙඩියෙන් වහ වහා එළියට පැනගනිමු.

Vidura

Popular posts from this blog

ගොජ දාන තෙලිජ්ජ මුට්ටියක් වැනි මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් [නොමිලේ] ගෙන ඔබත් පානය කරන්න!

​ ‘ සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තය (Democratic Socialist Republic of Bikini Paradise) ’ ලෙස නම් කරන ලද රටක, විෂ්ණු වාසු නම් කර්තෘ කෙනෙකු විසින් කරන්නට යෙදුන නවතම කෘතියෙහි නම ‘ ඕනෑ කර තිබේ ’. එකී කෘතියෙහිම පවසා තිබෙන නිසා ම ‘ මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් ගෙන ඔබත් පානය කරන්නැ ’යි නොකියමි, එය ඔබ කියවිය යුතුම නිසා එලෙස උදෘත කළෙමි.  [කෘතිය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට ලිපියේ අග ඇති FreePDF හෑෂ්ටැගය ක්ලික් කරන්න! ] හුදෙක් වචන පිළිබඳ අවධානය අඩුවීම, අවිධිමත් දඩබ්බර ලේඛන වහර නිසා අතිශය අවුල් ජාලයක් වී නමුදු එක හුස්මට, නැහැ, හුස්ම කිහිපයක් එකම වාක්‍යයකට- වචනයකට වුව වැය කරමින් කියවන්නට ඔබට සිදුවනු ඇත. එය කුමක් නිසා සිදු වූවක්ද,  දේශපාලනික සංස්කෘතික මිනිසෙකු නිසා සිදුවූවක්ද නැද්දැයි නොදනිමි. නමුත් සහසුද්දෙන්ම මේ ඔබෙ හදවතේම දෙබඩිතාවයම එකට සම්මුඛ වීමක් වැන්න.  • කවුද මේ විෂ්ණු වාසු?  ‘මිනිහා ටී වී බලන්නෑ, රේඩියෝ අහන්නෑ, පත්තර කියවන්නෑ. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වල නැහැ. හිතුණු වෙලාවක විතරක් ෆේස් බුක් එකට ඇවිත් මොනවා හරි අබ්‍රකදබ්‍රයක් ලියලා අපේ මොළ අවුල් කරලා අතුරුදන් වෙ...

A Chair Left Open: The Story Behind The Society at Silent Echo

For thirty years, my job was to talk.  On stage,  On TV/radio,  behind a microp hone, words were my work. But somewhere along the way, I began to notice what happens in the moments between words. The pause before someone answers. The silence after a song. The breath before a stranger decides to share something true. That silence became an idea.  Today I want to share it with you. WHERE IT BEGAN In Sri Lanka there is an ancient rock called Sigiriya. Its Mirror Wall was once polished so brightly that visitors could see themselves in it. Over many centuries, people who climbed it left poems and thoughts on that wall, words for strangers they would never meet. I have always loved that idea: a wall that listens, and a conversation that travels through time. THE SOCIETY AT SILENT ECHO On 2 January 2026, in Oulu, we held the first gathering of The Society at Silent Echo. It is simple. One question opens the evening. A guest shares life stories around it. Live music answers ...

මඩොල් දූව ස්වීඩනයට•

ස්වීඩන් ලේඛිකා ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්‍ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි.  ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්‍රමයත්, උත්සාහයත් ඔස්සේ.  පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්‍රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...