ඔබ සුඕමි Suomi බස ඉගෙන ගන්නෙක්ද?
Some nights, I hear a bird singing.
I whistle back.
And the bird replies.
So now, my audience is one bird.
Still, it's a live show.
මේ, මුසාවක් නොව, ‘මානව පොතක්’ ලෙස මා අසා සිටි සියල්ලන්ට පැවැසූ මගේ ඇත්ත ෆින්ලන්ත අත්දැකීමය.
ඔබේ වාරය- ඔබත් කුරුල්ලෙක්ද? ඔබ ගයන්නේ සුඕමි බසින්ද? ඔබ මා අසන්නෙහිද, මම ඔබ අසන්නම්ද?
භාෂාව යනු මානවයා කළ වටිනාම සොයාගැනීමකි. ගින්දර සහ රෝදය තරමටම එය වැදගත් ය.
ෆින්ලන්ත භාෂාව ඉගෙනීමට ලාංකිකයන් මෙන්ම මෙහි පැමිණි බොහෝ දෙනා දක්වන උනන්දුව දකින විට මට දැනෙන්නේ මහත් ප්රමෝදයක්. ලොව ඕනෑම බසක් ඉගෙනීමට කෙනෙකු දරන කැපවීම, ඒ ඓතිහාසික මානව සොයාගැනීමට කෙරෙන ගෞරවයකි.
එහෙත් නොරටක ජීවත් වන බොහෝ දෙනෙකු තුළ සිංහල ඉගෙනීමට, කතා කිරීමට, පොතපත කියවීමට ඇති උනන්දුව කෙමෙන් හීන වී යයි. වාණිජ ප්‍රයෝජනයකට එය ඍජුව සම්බන්ධ නොවීම ඊට හේතුව විය හැක. ඉදින් එය සාධාරණ හේතුවක් නොවෙද? ඇතැමෙක් භාෂා කිහිපයක ප්‍රවීණයෝ වෙති. එහෙත් කණගාටුව මව් බස ගැන ඔවුන් තුළ කිසිදු හැඟීමක් නැත.
ළඟින් ම සිටින මිනිසුන් ගැනද ඔවුන්ට ඇත්තේ දුරස්ථ භාවයකි. එය ඔබ නිතර මෙහි අත්දකින ‘රැකියාවක් නැති කාලයේ ළඟින් සිටි මිතුරන්, රැකියාවක් ලැබුණු විගස අමතක වී යන කෙනෙකු මෙනි’. ‘වරක් කතා කළ දැනැ ඇඳින ගත් අයෙකු මුහුණට මුහුණ හමුවුණද නාඳුනන ලෙස සිටිනු වැනිය’. ‘කෙනෙක් මහන්සියෙන් සොයාගත් යමක් තමන්ගේ වගේ තවකෙකුට ප්‍රදර්ශනය කරන්නෙකු හා සමානය’
සිංහලෙන් උගෙන, ලාංකික මිනිසුන්ගේ කර මතින් ඉහළට නැගුණ සමහරු පසු කලෙක කියන්නේ "අපි සිංහල අය එක්ක නෑනෙ, හෑපෝ ලංකාව, සිංහල නං මොනාද අප්පා!".
අතීතයේ මිනිස්සු කීවේ උගතෙකු වීම දුර්ලභ නම්, කවියෙකු වීම ඊටත් වඩා දුර්ලභ බවයි. අද උගතුන් ද කවියන් ද බොහෝ ය. ඒ නිසා දැන් ෆින්ලන්තයේ ශ්‍රී ලාංකිකයින් අතර දුර්ලභම දේ සාමාන්‍ය මිනිසෙකු වීමයි. ඒ දුර්ලභ සාමාන්‍ය මිනිසා ලෙස, මම කුඩා ජනේලයකින් ඈත ලෝකය දෙස නිහඬව බලා සිටිමි.
මට ඔබෙන් අහන්නට ඇත්තේ මෙයයි: මෑතකදී කුරුල්ලෙකුගේ ගීයකට කන් දෙන්නට තරම් සිතේ නිසංසලකමක් ඔබට තිබුණාද? එසේ නොතිබිණි නම් ඉක්මනින්ම කුරුලු හඬට සවන් දෙන්න. ඊළඟ ඍතුව එන තුරු උන් නිහඬ නිද්‍රාවට යාමට සූදානමිනි.
ඒ කුරුල්ලා මගේ සිංහලවත්, ඔබේ සුඕමිවත් දන්නේ නැත. එහෙත් උගේ එකම එක ප්‍රේක්ෂකයාට වුව, ඌ කියන දේ හොඳටම වැටහෙනු ඇත.
ඉදින්, කෙනෙකු කතා කරන විට, අනෙකා සවන් දීම යනු සමහර විට භාෂාවේ ආරම්භකම මොහොත විය නොහැකිද?
