පෘථිවිය නම් නිල් පැහැ ගෝලයට ප්රේම කරන ජනතාවට ලස්සන දවසක් උදාවුණේ ඉකුත් දාහතර වෙනිදා; ඒ වැලන්ටයින් දා නිසාම නොවෙයි, වර්ෂ තිස්පහකට පෙර මතකයක සැමරුමක් නිසයි.
2025 පෙබරවාරි 15 දා- මේ දැන්- මේ ලිපිය ලියන්න සිතූ ක්ෂණයවන විට, නාසාහි වොයේජර් 1 යානය පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 24.9 ක් (සැතපුම් බිලියන 15.5 ක් පමණ) දුරින් පිහිටා ඇති අතර, එය මිනිසා විසින් සාදන ලද වඩාත්ම දුරස්ථ වස්තුව ලෙස ඉතිහාසයට එක්ව අවසන්. මේ, ඊලඟ මොහොතේදී, එය ඊටත් වැඩි දුරකට පියාඹා ගොස් ඇත. එය සූර්යයාට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 17 ක් (පැයට සැතපුම් 38,000 ක් පමණ) වේගයෙන් ගමන් කරයි.
අදට මෙහෙයුමේ කාලය: අවුරුදු 47, මාස 5, දින 10කි. එය අපගේ සූර්යයාගේ බලපෑමෙන් ඔබ්බට අන්තර් තාරකා අවකාශයේ ගමන් කරමින් සිටී.
1977 සැප්තැම්බර් 5 දා දියත් වූ නාසා හි වොයේජර් 1 අභ්යවකාශ යානය වර්ෂ 1990 පෙබරවාරි 14 වන දා අපූර්ව පිංතූරයක් ගනු ලබනව. මේ ලිපියට නිමිත්ත වන්නේ එහි 35 වසරක සැමරුමයි. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පෙර නොවූ විරූ අපූර්ව සේයාරුවක්. ප්රේමවස්තුවක්!
පෘථිවියේ සිට සැතපුම් බිලියන 4 (කිලෝමීටර් බිලියන 6.4) පමණ දුර සිට ගනු ලබන මේ සේයාරුව කෙරෙහි සමස්ථ ලෝකයේම අවධානය හා ආදරය ලැබිය යුතු ඇයි?
ඊට අතිශයින්ම බරැති බලපෑම එල්ල කරන්නේ ප්රකට තාරකා විද්යාඥ, කතුවරයකු සහ විද්යා සන්නිවේදකයකු ලෙස සම්භාවනාවට පත් කාල් සේගන්:
ඔහු වොයේජර් කණ්ඩායමේ සාමාජිකයෙක්, වොයේජර් 1 යානය අභ්යවකාශ ගවේෂණය සඳහා 1977 දී දියත් කිරීමෙන් පසුව, පෘථිවියෙන් ඔබ්බෙහි බාහිර සෞරග්රහ මණ්ඩලය ඔස්සේ ගමන් කරන අතරවාරයේ ‘අප දිහෑ පේන’ ඡායාරූපයක් ගන්නා ලෙස යානයට යෝජනා කරන්නේ සේගන්.
මෙම රූපය ග්රහණය කර ගැනීම සඳහා සැලැසුම් කිරීමටම දස වසරක් ගත වූ බව කියැවෙයි, ඉදින් එය ක්ලික් අනුනාදයෙන් ලත් ක්ෂණික සේයාරුවක් නොවෙයි.
ගනු ලබන සේයාරුව ඊටත් මාස කිහිපයක් ගතකරමින් පික්සලයෙන් පික්සලයට තොරතුරු නැවත සමීක්ෂණය කරමින් තාක්ෂණික ක්රියාදාමයක නිරතවන්නට සේගන් සහ කණ්ඩායමට සිදුවෙයි. ඔහු 1990 දී ප්රෙස්කොට් කුරියර් (දැන් ඩේලි කුරියර් ලෙස හැඳින්වේ) සඳහා ලියූ පුවත්පත් ලිපිය සොයාගෙන කියවන්න, එය අප වන් සාමාන්ය ලේඛකයකුට වටහා ගන්නට නොහැකි සංකීර්ණ තාක්ෂණික මෙහෙවරින් උපලක්ෂිතය.
අපට වඩාත් වටහා ගන්නට අවශ්ය වන්නේ එය නොවෙයි; කාල් සේගන් තම Pale Blue Dot (1994) නම් කෘතියේ ලියූ සුප්රසිද්ධ අකුරු මාලාවය. ඔහු අදාළ සේයාරුවෙහි අඳුරු තිතක් ලෙස පෘථිවිය දකී. සේගන් එය නම්කරන්නේ pale blue dot ලෙස.
‘ඒ තිත දෙස නැවත බලන්න. ඒ මෙතන. ඒ ගෙදර. ඒ අපි’ යනුවෙන් ඔහු ඒ විශ්මය ජනක ලියැවිල්ල ඇරැඹුවේය. . .
ඒ, පෘථිවියමත අප ආදරය කරන සෑම කෙනෙක්ම, අප දන්නා සෑම කෙනෙක්ම, අප කවදා හෝ අසා ඇති සෑම කෙනෙක්ම, කවදා හෝ සිටි සෑම මිනිසෙකුම තම ජීවිත ගත කළ බව ඔහු අපට සිහිපත් කළේය. අප එකිනෙකා හා ආදරය නොකර සිටින්නට හේතුවක් නොමැති බව ඔහු එහි අවධාරණය කළේය.
වොයේජර් එක යානය වසර තිස්පහකට පමණ පෙර වැලන්ටයින් දාවක අපට ගෙනැත් දුන් රතු රෝස මල සේගන් විසින් විදාරණය කරදුන්නේ අප අතිශයින් හැඟුම්බර කරමින්. එය මෙලොව වැඩ විසූ ඕනෑම ශාස්තෘවරයකුගේ දර්ශනිකයකුගේ ගැඹුරු දේශනා එක මිටකට ගත් ලියැවිල්ලකි. ඉදින්, එය මැනවින් කියැවූවකු ආදරයේ ප්රතිරූ බවට පරාවර්ථනය- රූපාන්තරණය වනු ඇත.
මිත්රවරුනි,
මේ දැන්- මේ ලිපිය නිමකරන ක්ෂණයවන විට, වොයේජර් 1 යානයට අප පෘථිවය නොපෙනී වසර ගණනක් කල් ඉකුත්ව ගොස් ඇත. යානය දැන් අබලන්ය, ඇතැම් කොටස් අක්රියය, දැවී පිලිස්සී ගොස්ය. අවිච්චින්නව තවමත් අපට විශ්වයේ තොරතුරු කාන්දු කරන මේ අජීවි කල්යාණ මිත්රයා කෙතරම් සජීවීද?
සුවිසල් විශ්වයේ මෙම කුඩා නිල්මැලි තිත මත, ආදරය යනු අපගේ ශ්රේෂ්ඨතම අරමුණ බව අපෙන් කිලෝමීටර බිලියන 25 ක දුරක සිට එය අදටත් අපට හඬ ගා පවසන්නෙය. ඔබට ඇහෙනවද ඒ හඬ?
අපට,
කිසිවිටෙක
ඒ හඬට
එරෙහි විය හැකිද?
-I’m Vidura |✨ — in Helsinki.