Skip to main content

•මේ මොහොතේ ගෙම්බො ළිඳේ නෙමේ ටින් එකේ

- ලංකා | ROSE : by Kasun Samarathunge

#. මං කැමතියි අර පාසැල් යන කාලෙ පෙම්වතියන්ට ලිව්වාය කියන කවියැයි සැක කළ හැකි රචනා ළඟින් අපේ සංවාදය ආරම්භ කරන්න. ඒකද විදුර ඩයස්ගෙ ලිවීමේ ආරම්භය?

සපුගස්කන්ද කණිෂ්ටේ - දැන් ඒක සෝභිත විද්‍යාලය - තුනේ හෝ හතර පංතියෙදි ලියපු කවි රචනාවක් මට යාන්තන් මතකයි, ඒකෙ තිබුණා 'අපි වෙමු මල් වැනි පුංචි ළමයි' කියල කොටසක්. මේක දැකපු මගෙ අම්ම කිව්ව 'වෙමු අපි පුංචි ළමයි මල් වැනි පුංචි ළමයි' කියල පද එහෙ මෙහෙ කරන්න කියල. මා ලියූ කවියක පැරැණිතම මතකය ඒක.

මට හිටිය ලාල් නමින් මාමා කෙනෙකුයි බාප්ප කෙනෙකුයි. බාලාංසෙ, එක දෙක වසරවල මම මොල්ලිගොඩ පල්ලිය ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ පාසල් ඇරුණු වහා දිව යන්නේ, නිවාඩු දවසට ගිහින් ඉන්නේ, ලාල් මාමලෑ ගෙදර. ඔහු හොඳ රසිකයෙක්. කැසට් පීස්වල සිංදු රෙකෝඩ් කරගෙන ඇවිත් ඔහු නිතර අසනව. ඔහු අසන ගී අතර පෙමාතුර හැඟුම්, සීත රෑ යාමේ ආදී ගීත මට කටපාඩම්, අර්ථය දන්නෑ. ඒත් පංතියේ සිංදුවක් කියන්න කිව්වම කාලයක් මම ගැයූ 'ළමා' ගී ඒවා. තුන වසරෙදි සපුගස්කන්ද කණිෂ්ට විද්‍යාලයට මාරුවෙන්නෙ මාකොළ පදිංචියට ආවම.

එතකොට අපි නවතින්නෙ ලාල් බාප්පාට අයිති ගෙදරක. මට අහන්න ලැබෙන්නේ ලාල් බාප්පා රුචි, සැමැන්තා ෆොක්ස් ඇබා මයිකල් ජැක්සන් බොනියම්ස්ලගෙ සිංදු. බාප්පා අපව ගෙදරින් පාරට ඇද දැමුව නිසා මාකොළ පළමු කුලී ගෙදර පදිංචියට යනව. ඊට පසු සෑහෙන කුලී ගෙවල් ගණනකට මාරුවුණා.

දරිද්‍රතාවෙන් පිරුණත් ඒ කුලී ගෙවල් ගෙයින් ගෙයට මාරුවීම් මට විවිධ මිනිස්සු මුණගැස්සුව, විවිධ පරිසර හමුවුණා. ඒ නිසාම ඔබ අහපු ලෙස පෙම්බරියන් ගණන වැඩිවුණා. ඒ පළමු කුලී ගෙයි බිත්තියක මම කුරුටු ගා තිබුණා කවියක්. ඒ තමා ප්‍රේමය මට ආසාදනය වෙමින් තිබුණ කාලය. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරය ඒ කවියෙ තියෙනව.

ගිලන් වියැ හද

ඔසු උයන මැද

නමුදු ඔබයැ ළඳ

එක මැ ඔසුවැ හද

#. ලියන - කියවන එක සීරියස් දැනෙන්න පටන් ගත්තෙ කොයි කාලෙ, කොහොමද?

මොල්ලිගොඩ වෙරළ, මුහුද පිළිබඳ ඇති කෙළිදෙළ සුන්දර සදාතනික මතක අබිබවන්නේ මාකොළ. මාකොළ ශ්‍රී ගුණරතන ධර්ම විද්‍යාලය තමා මගෙ පිටිය. එක පැත්තකින් ප්‍රේමාසාදන, අනෙක් පසින් විවාද කථික ගීත ගායන නාට්‍ය රඟපෑම් කියුම් කෙරුම් ඇතුළු මගේමය ඉතිහාසයක් ගොඩ නැගෙන මගෙ ප්‍රේමනීයතම කොලෝසියම. හැබැයි ලියන කවි අගයන්න කෙනෙක් හිටියෙ නෑ, ඒ නිසා ඒව රහස්‍ය රචනා. එකම අවස්ථාවකදී සපුගස්කන්ද පර්ෂධ මූලස්ථ විද්‍යාලයේ සංගීතාචාර්ය දයාරත්න කොරතොට මහතා මගෙ වචන ටිකක් දැකල, පාසලේ ගුරු දින උලෙළක තේමා ගීයක් විදයට තනුවක් යොදා අප ලවාම ගායනා කරවනව. නැත්තං එතෙක් මා ලියු දෑ ගැයුවෙ මමම, මගෙම තනුවකට වොෂ්රූම් ගී විදිහට.

දහම්පාසල් පුස්තකාලයත්, මාකොළ මහජන පුස්තකාලයත්, කොළඹ මහජන පුස්තකාලයත් තමා මගෙ උන්මාදනීය රස්තියාදුවට හේතුවන වගඋත්තර කරුවන්. ඊට එහා පැත්තෙ ජෝන්ද සිල්වා රඟහලත් ඊට අඩු වැඩි වශයෙන් වග කිවයුතුයි. කෙමෙන් නාගරික පදිංචියට පැමිණීමත් සමග දරිද්‍රතාවය හා පරිභෝජනය උදෙසා ඇතිවන තදබදය හා තරගය මා අතිශය වෙහෙසට පත් කරනව. ඒ අස්සෙ කිසියම් සුන්දරත්වයක් සොයා යාමට හිත අනවරතව බල කරන්නේ ඔය කියවපු දෑ ඔස්සේ ගොඩ නැගුණ සිහිනමය හැඟීමක්. ඒත් ඒ කිසිවකට එල්ලයක් තිබ්බෙ නෑ. විරහව දුක තමා අලෙව් කෙරන මහ පොදු සාධක.

මේ අතර මට හමුවෙනව ලාල් ආනන්ද අබේධීර ( Lal Ananda Abeydheera ) කියන සංගීත ගුරුවරයාව. ස්ථානය රාජගිරියේ සංගීත් භවන්, කේමදාසල කපුගේලා රත්න ශ්‍රීලා එච් එම් ලාගේ දෛනික සම්භාෂණ රෑ බෝවෙද්දී කෙමෙන් නිමා වෙද්දී ඔවුන් අතැර යාමෙන් හිස්වන පුටු අතර රජ කරන්නේ ලාල් ආනන්දයි මමයි, ඔහු මධ්‍යම රැයද පසුවී මී විතෙන් සැනැහෙමින් එළිවෙන තුරු ඔහුගෙ ගීත ගායන වාදන සහ කතා අසමින් සිටින එකම රසිකය බවට කාලයක් පත්වුණේ මම. ඔහු දවසක් මට කියනව, විදුර උඹ ලියනෙව්ව තුළ තියෙන, 'ජීවන දෘෂ්ඨිය', 'දෘෂ්ඨිවාදය' ට මම කැමැතියි කියල, හැබැයි මට ඒක තේරුන්නෑ. මම එහෙම වචන ගැන බැරෑරුම් විදියට හිතන්න පෙළඹෙන ටර්නිං පොයින්ට් එක ලාල් ආනන්ද අබේධීරගෙ ඒ වචන. ඊට පසුව ආනන්ද විද්‍යාලයෙදි හමුවෙනව විදර්ශන කන්නංගර ( Vidarshana Kannangara ) නම් මිත්‍රයෙක්. ආනන්දෙ '99 පැවැති 'වදනින් එහා' කලා උලෙළෙ තේමා ගීතය ලියන්නෙ මම, තනුව කළිඳු වීරසිංහගෙ ( Kalindu Weerasinghe ) . මම විදර්ශනට ඒ ගීතය මුලින්ම කියවන්න දෙනව. විදර්ශන එයට එල්ලකරන විවේචනය කොයිතරම් බලවත්ද කියනවනං මම ඒක ඉරල විසි කරනව. එදා රැය නොනිදා පහන් කරල ආයෙත් අලුතින්ම එකක් ලියාගෙන විදර්ශනට දිගු කරන ගීය කියෝල ඔහු අතිශයට ප්‍රමෝදයට පත්වෙනව. කළිඳුට සිද්ධ වෙනව අලුත් තනුවක් යොදන්න. එදා, ඒ වචන කියැවීමෙන් පසුව කෙරුණු, කන්නංගරමය රසවින්දනය, ගීය සම්බන්ධ මගෙ උත්තේජනය තීව්ර කරනව.

#. විදුර ඩයස් කියන ගී පද රචකයා ගැන අපි දන්නවා. ඔබ ප්‍රවීණ සහ ප්‍රකට පුද්ගලයන් එක්ක ගීතය හරහා ගනුදෙනු කරල තියෙනව. අන්න ඒ ගීත රචක භූමිකාව සහ එහි ඔබට දැනෙන වෙසෙස් සලකුණු ගැන අපට යමක් කියන්න?

වදනින් එහා කලා උළෙලට මා ලියූ ප්‍රේම ගීතයක් තිබුණා;

මගෙ සිත් නදී

සුවඳ කර පිපුණ ඔබ

සුවඳයි

ඔව් තාම සුවඳයි

තනුව සංගීතය කසුන් කල්හාර ( Kasun Kalhara ), ගැයුවෙ අචල සොලමනස් ( Achala Solomons ). ඔහුත් මගෙ එවක ගීතවලට තනු යෙදූ සංගීතඥයෙක්. පාසල් කාලෙ මා ගීත තැනූ අනෙක් සංගීත අධ්‍යක්ෂකයා කළිඳු වීරසිංහ, ඔවුන් මතකයෙ සුන්දර තැනක ඉන්න මා පාසල් මිතුරන්. කසුන් වචන ටික අතට ගත් පළමුදාම කිව්වෙ පද රචනාවේ විශේෂත්වය, ඒ හැමදෙනාටම සංගීතය වගේම සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් තිබුණ. ඔවුන් තිදෙනාම අනිටු රැලිවලට හසු නොවුණ පුද්ගලයින්. කළිඳුට සහ අචලට තිබෙන අනන්‍ය හඬ පරාසයන්ගෙන් ඔවුන් තවම නිසිපරිදි වැඩ අරන් නැති එක තමයි කණගාටුව.

කසුන් සරල ගීතයට පමණක් සීමා වීම අපරාධයක්, ඔහු ගෝලීය සංගීතඥයෙක්. ඒ අතර වර්ෂ දෙදහස් එ⁣කේ දවසක මට අහම්බෙන් මුණ ගැසෙන නදීක ගුරුගෙ ( Nadeeka Guruge ) නම් මිතුරා කියන්නෙ සංගීතය සහ භාෂාව සම්බන්ධයෙන් විතරක් නොවෙයි විවිධ කාරණා විෂය පරාස සම්බන්ධයෙන් පුළුල් කියැවීමක් තියෙන පුද්ගලයෙක්. ඔහුගෙ සංගීතය ඔස්සේ ගලන්නේ ඒ දේශපාලනමය පරිඥාණය කියලයි මම හිතන්නේ.

සමන්ත පෙරේරා ( Samantha Perera ) නවරත්න ගමගේ ( Nawaratna gamage ) සංගීතවත් කළ මගේ ගී දෙකක් තිබුණත් ඒව එතරම් කතබහට ලක්වුණේ නෑ. හැබැයි ඔවුන් මිතුරන් විදියට අතිශය ළැදි උත්තුංග මනුෂ්‍යයින් දෙදෙනෙක්. මට වඩාත් ළෙංගතු සංගීතඥයින් එච් එම් ජයවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ ශ්‍රියාරත්න. ඔවුන් නිහඬ විප්ලවකරුවන්. ප්‍රසිද්ධිය හඹා නොයන්නන්. නිර්මාණයට අවංක දක්ෂයින්.

එච් එම් සමග මට සිංදු දහස් ගණන් කරන්න ඉඩ කඩ තිබ්බ, මොකද පාසල් කාලයේ බොහෝ රාත්‍රීන් ගෙවුණේ ඔහු සමග, ඔහු පියානෝවේ යතුරු සමග කරන සෙල්ලම බලා සිටියා විනා මේකට තනුවක් දාන්නැයි කියන්න තරම් ධෛර්යයක් මට කිසිදා ඇවිත් නෑ. හැබැයි තවම නොපළ එකම එක ගීයක තනුවක් ඔහු කර තිබෙනවා. ඒක, නායක වන්නිගම ( Nayake Wannigama ) කියන තරුණ සංගීතඥයා කවදා හෝ ගයන්න නියමිතයි.

ෂෙල්ටන් ප්‍රේමරත්න ආයෙ ලංකාවට ආවොත් අපි සැලැසුම් කරපු ගීත ගොන්නකින් එකක් හරි කරන්න ඕන කියන සිහිනයක් තියෙනව. දැන් ඔහුටවත් ඒව මතක නැති නිසා ඒක අනියමාර්තයේ අසම්භාව්‍ය ප්‍රාර්ථනයක්. ඔහු අතිශය විනෝදකාමී සැහැල්ලු චරිතයක්. ඔහු සොහොයුරු ශ්‍රියාරත්න කියන්නේ අහිංසක කලාකරුවෙක්. කලාකරුවන් අහිංසක වුනාම සහෘදයින්ට අතහැරෙන බවට කදිම උදාහරණයක් ඔහු. තව තරුණ සංගීතඥ රැසක් මා හා සමග දැනට වැඩ කරමින් යනව, ඔවුන් ගැන පසුදාක කතා කරමු.

#. ගීතය සහ කවිය මැද්දෙන් ඔබ සීමා ඉරක් අඳිනවද?

පැහැදිලිවම. ඒක අඳින ප්‍රධානතම ඉර සංගීතය. කවිය හෘද සංගීතය ප්‍රධානකොටගත් නමුත් ගීතය වනාහී වෙනත් සංගීත භාණ්ඩ කටහඬ ආදී සාමුහික සංගීත නිර්මාණයක්. කවිය යනු එක අතකින් අන්තරාවර්තීය සන්නිවේදනයක්. මේ දෙකම භාෂාවේ කදිම ලංකාර නිර්මිත. අනෙක් පසින් ගීත අපට 'ඇහෙන' හෝ 'අහන්න' යන දෙකටම අදාළයි. කවිය නම් කියවිය යුතුමයි.

#. අපි දැන් 'සරැළි' ළඟට එමු. ඔබේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය. මේ සංවාදයට ප්‍රධාන නිමිත්තත් එයම තමයි. මට කියන්න, 'සරැළි' කියන්නෙ ඔබේ සිහිනයක්ද?

නෑ, මට අවශ්‍ය වුණේ මට දැනෙන දේ ලියන්න, මා දන්න දේ ලියන්න, මට හැඟෙන දේ ලියන්න, මට මතක දේ ලියන්න, මම සිංදු හෝ කවි හෝ ලියන්න හිතා සිටි කෙනෙක් නෙමේ. පාසල් කාලයේ සිට බොහෝ දෙනෙක් කිව්ව මම ලියන එව්ව පළ කරන්න කියල. කලිං ප්‍රශ්නයකට අදාළව, මගෙ පාසල් මිතුරන් මේ ලියන හෑලි කියවමින් විවිධ අර්ථකථන දුන්න කාලයක් තිබ්බ, සමහර ඒව විහිළු සහගතයි, බුලි කිරීම් ඒ තුළ තිබ්බ. නමුත් බොහෝ විට ඒවා කෙරෙහි නැමියාවක් ඔවුන්තුළ තිබ්බ. එවකට විශාඛාවේ නෙළුම් නම් යෙහෙලියක් මට නිතර ලිපි එවමින් කිව්වෙ විවිධ ගායක ගායිකාවන්ට ගීත ලියන්න කියල, හැබැයි මම එහෙම සිංදු ගිහින් දෙන මානසිකත්වයක නොසිටි නිසා ගීත අතලොස්සකටයි අවුරුදු විසිපහක් ගිහිල්ලත් හිමිකම් කියන්නේ. බිරින්දෑ පෙම්වතියව සිටි කාලයේ මට තනිරුල් පොතක් අරන් දෙනව තැන තැන ලියන්නැතිව මේකෙ ලියල එකතු කරන්න කියල, ඒකෙ ලියන සූරියකාන්ත මල් නම් ආඛ්‍යාන කාව්‍ය තමයි මගෙ පළමු කවි පොත වෙන්න තිබ්බෙ, ඒත් ඒක එහෙම වුණේ නෑ. ඊට පස්සේ ආද⁣රණීය බිස්නස්, පැරිණිතම පියාපත වගෙ කවි එකතු පොත් විදියට එළිදක්වන්න හිතා හිටිය. ඒත් එහෙම වුණේ නෑ. මොකද සිහිනයක්ව නොතිබුණ නිසා. මට හිතුනෙම මම ඒකට සුදුසු නැතිව ඇති කියල. දැන් සරැළි නමින් පළ වෙන්නේ පළමු රැල්ලේ ලොක්ඩවුන් කාලේ මං ශුද්ධ පවිත්‍ර කරගත් මගේ කුරුටු බලි චිත්‍ර ටිකක්. ඒකට උදව් කරගත්ත යාලුවෝ සංඛ්‍යාව වැඩිවුණේත් මා ලියන කවි පිළිබඳ මගෙ අවිශ්වාසය. බැරිම තැන රත්න ශ්‍රී විජේසිංහ ( Rathnasri Wijesingha ) , ලියනගේ අමරකීර්ති ( Liyanage Amarakeerthi ), සුනන්දා ප්‍රේමසිරි ( Sunanda Premasiri ) , බුද්ධදාස ගලප්පත්ති ( Buddhi Galappatty ) , සුනන්ද කරුණාරත්න ( Sunanda Karunaratna ) , නදීක ගුරුගේ, ප්‍රණීත් අබේසුන්දර ආදී කේෂ්ත්‍රයේ ප්‍රවීණතා දක්වන අයගෙ උදව් පවා ඉල්ලා සිටියා මේවා කවිදැයි බලන්න කියල. පොතේ අන්තිමටත් මම සඳහන් කළා මේ අතර කවි තිබුණොත් කියන්න කියල.

#. 'අත්දැකීමෙහි නව්‍යතාව විදුරගේ කවියෙහි සාධනීය ගුණයක් ලෙස දකිමි' කියල බුද්ධදාස ගලප්පත්ති කියනව. ඔබේ කවි කය ගොඩනගද්දි ඔබ වට අවට දෑ ඔබට එල්ල කරන්නෙ කොහොම බලපෑමක් සහ උත්තේජනයක්ද?

මේ කිසිම කවියක මම නොසිටිමි කියා කිසිවකුට කියන්න බැරි තරමටම මේ සියල් අත්දැකීම් අත්විඳීම් පුද්ගලිකවම මම සහභාගීවුණ දෑ. මට අත්දකින්න සිද්ධ වූ දෑ. මේ හැම කවියක්ම ලියැවෙන ප්‍රස්තුතය හෝ අනුභූතියේ කොණක මම ඉන්නව. උදාහරණයක් තොරණ කවිය ලියැවෙන්නෙ මම එය කඩා වැටුණ බව දැනැ හිටියත්, කිරිබත්ගොඩ පොලට ගිය ගමන් එතැනට එබිකම් කර දෑසින්ම දැක බලාගත් පසු ඇතිවන කම්පනයත් එක්ක. ඊට පසු එය යළි වර නැගෙන්නේ පාද සටහනක් එක්ක. ඊට මුල්වෙන්නෙ ලංකාවේ දේශපාලකයින්ට කඩේ යන ආචාර්යහිමිනමක ගෙ දන මන මුළා කෙරෙන අබද්‍ර ප්‍රකාශයක් එක්ක.

#. මේ මොහොතෙ සමාජ මාධ්‍ය ද ඇතුළත් ලියන - කියවන අවකාශය ගැන ඔබට තියෙන්නෙ කොහොම තක්සේරුවක්ද?

මතවාදී එළැඹුම් ගැටුම් තවම ඇතැම්තැන්හී ප්‍රාථමික ස්වභාවයක් උසුලනව. සමාජ මාධ්‍ය යනු මේ යුගයේ ප්‍රබලතම නූතනමය ප්ලැට්ෆෝම්ස්. හැබැයි අපි ඒව බාවිත කරන්නේත් රෙදි අපුල්ලන මට්ටමෙන්, ලිං තුළ ටින් එකක ඉන්න ගෙම්බන් සම්පදානයෙන්, ඕපාදූප ගොසිප් තක්කඩිකම් ග්‍රාම්‍යතා උදෙසානම් ඉන් අත්වන සුගතියක් නෑ. අපි බෙන්ස් එක පාවිච්චි කරන්න ඕන මරුටියක් පදින විදියට නෙමේ, විස්කි බ්‍රැන්ඩි බොන්නේ කසියා බොන විදියට නෙමේ. ස්මාට් ෆොන් සහ ගල් යුගයේ ටැලිපෝන් අතර වෙනස අපි ඉගෙන ගන්නෝන. ඒ ඒ දේට අනන්‍ය පිළිවෙතක් තියෙනව. ඒ පිළිවෙතින් පෙළ නොගැසෙනතාක් මොන දියුණු ප්ලැට්⁣ෆෝම්ස් ආවත් අපි ඉන්නෙ යාය දෙක ගමේ වලක් හාරගෙන.

#. 'සරැළි' සහෘදගත වන දිනය, තැන, වෙලාව සහ එදිනට වෙන්න නියමිත මොනවද කියල අපි දැනට මේ සංවාදය මෙතැනින් නතර කරමු?

සරැළි එළිදැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථා හයවන මැදිරියේදී, නැත්නම් මුනිදාස කුමාරතුංග මැදිරිය. සවස තුනට. දවස ජුලි මාසයේ අවසන් දිනය, 2021.07.31දා. සෙනසුරාදාවක් නිසා බොහෝ දෙනෙකුට පහසුයි කියල හිතනව. හැබැයි කොවිඩ් ගයිඩ්ලයින්ස් අනුව පැවැත්වෙන නිසා ඉඩකඩ අඩුවෙන්න පුළුවන්. මම කිසිවකුට විශේෂයෙන් ඇරියුම් කර නැ. හැමෝගෙම වැඩක් විදියටයි කරන්නෙ. ඒ නිසා හැමෝම විශේෂ ආරාධිතයින්. උත්සවයේ එක කථාවයි, සාහිත්‍ය වේදී සුනන්ද කරුණාරත්න තමා කථිකයා. නාරද බක්මිවැව ( Narada Bakmeewewa ) සබාව මෙහෙයවනව. පොතේ කවරය විකුම් ජිතේන්ද්‍ර ( Vikum Jithendra ) ගේ . කැමරා සහ ලයිව් ස්ට්‍රීමින් ප්‍රේම්ටීවී කණ්ඩායම. මගෙ පද රචනා එකතුව තියෙන විරික්ස් ( Vyrics you tube channel) හි අප්ලෝඩ් කර ඇති ඉදිරියේදී අප්ලෝඩ් කෙරෙන ගීත ගායනා කරවන්න අදහසක් තියෙනව. සංගීතය බුද්ධික දයාරත්න ( Buddhika Dayarathne ) ඇතුළු TheStaff කොහොමත් මාලනී බුලත්සිංහල මහත්මිය නැති අඩුව එදිනත් මට දැනෙයි. සන්ධ්‍යා බුලත්සිංහල ( Sandya Bulathsinhala ) කසුන් කල්හාර, නෙරංජලා මංජරී ( Niranjala Manjarie ) , දයාන් විතාරණ ( Dayan Witharana ) , අනුරාධා නන්දසිරි (Anu Nandasiri ), නදීක ගුරුගේ, ඉන්දිකා උපමාලි ( Indika Upamali), නායක වන්නිගම, කුෂාණි සඳරේඛා Kushani Sandarekha ), කරුණාරත්න වනසිංහ ( Karunarathna Wanasingha ), එස්කේ ආනන්ද ) SK Ananda ආදීන් ගී ගැයීමට නියමිතයි. මේ මොහොත වන විටත් ඉන් කිහිපදෙනෙකු හැර බහුතරයක් එන බව තහවුරු කර නැහැ. මොකද ලංකාවෙ කලාව සම්බන්ධ අපි ඉන්න කලාපය ඉතා කුඩා වපසරියක් වුණත් කලාකරුවෝ අතිශය බිසී.

සංවාදය - කසුන් සමරතුංග

සංස්කරණය - විමල් කැටිපේආරච්චි ( Wimal Ketipearachchi )

-ලංකා | ROSE

Popular posts from this blog

ගොජ දාන තෙලිජ්ජ මුට්ටියක් වැනි මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් [නොමිලේ] ගෙන ඔබත් පානය කරන්න!

​ ‘ සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තය (Democratic Socialist Republic of Bikini Paradise) ’ ලෙස නම් කරන ලද රටක, විෂ්ණු වාසු නම් කර්තෘ කෙනෙකු විසින් කරන්නට යෙදුන නවතම කෘතියෙහි නම ‘ ඕනෑ කර තිබේ ’. එකී කෘතියෙහිම පවසා තිබෙන නිසා ම ‘ මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් ගෙන ඔබත් පානය කරන්නැ ’යි නොකියමි, එය ඔබ කියවිය යුතුම නිසා එලෙස උදෘත කළෙමි.  [කෘතිය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට ලිපියේ අග ඇති FreePDF හෑෂ්ටැගය ක්ලික් කරන්න! ] හුදෙක් වචන පිළිබඳ අවධානය අඩුවීම, අවිධිමත් දඩබ්බර ලේඛන වහර නිසා අතිශය අවුල් ජාලයක් වී නමුදු එක හුස්මට, නැහැ, හුස්ම කිහිපයක් එකම වාක්‍යයකට- වචනයකට වුව වැය කරමින් කියවන්නට ඔබට සිදුවනු ඇත. එය කුමක් නිසා සිදු වූවක්ද,  දේශපාලනික සංස්කෘතික මිනිසෙකු නිසා සිදුවූවක්ද නැද්දැයි නොදනිමි. නමුත් සහසුද්දෙන්ම මේ ඔබෙ හදවතේම දෙබඩිතාවයම එකට සම්මුඛ වීමක් වැන්න.  • කවුද මේ විෂ්ණු වාසු?  ‘මිනිහා ටී වී බලන්නෑ, රේඩියෝ අහන්නෑ, පත්තර කියවන්නෑ. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වල නැහැ. හිතුණු වෙලාවක විතරක් ෆේස් බුක් එකට ඇවිත් මොනවා හරි අබ්‍රකදබ්‍රයක් ලියලා අපේ මොළ අවුල් කරලා අතුරුදන් වෙ...

A Chair Left Open: The Story Behind The Society at Silent Echo

For thirty years, my job was to talk.  On stage,  On TV/radio,  behind a microp hone, words were my work. But somewhere along the way, I began to notice what happens in the moments between words. The pause before someone answers. The silence after a song. The breath before a stranger decides to share something true. That silence became an idea.  Today I want to share it with you. WHERE IT BEGAN In Sri Lanka there is an ancient rock called Sigiriya. Its Mirror Wall was once polished so brightly that visitors could see themselves in it. Over many centuries, people who climbed it left poems and thoughts on that wall, words for strangers they would never meet. I have always loved that idea: a wall that listens, and a conversation that travels through time. THE SOCIETY AT SILENT ECHO On 2 January 2026, in Oulu, we held the first gathering of The Society at Silent Echo. It is simple. One question opens the evening. A guest shares life stories around it. Live music answers ...

මඩොල් දූව ස්වීඩනයට•

ස්වීඩන් ලේඛිකා ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්‍ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි.  ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්‍රමයත්, උත්සාහයත් ඔස්සේ.  පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්‍රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...